වෙළඳාම් නොකරන කරත්ත රජයට පවරා ගැනීමේ තීරණයක

පසුගිය පාලන සමයේ ජංගම වෙළෙඳාම සඳහා බෙදා දුන් අත් කරත්ත අතුරින්, දැනට වෙළෙඳාම් කටයුතු සඳහා භාවිත නොකරන කරත්ත යළි පවරා ගැනීමට අම්බලන්තොට ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ. ඉකුත්දා පැවති එම සභාවේ ඔක්තෝබර් මාසික රැස්වීමේදී සභාපති විපුල විජයදාස මහතා (ජා.ජ.බ.) සඳහන් කළේ, නිලධාරීන් යොදවා එවැනි කරත්ත 10ක් මේ වන විටත් සභාව භාරයට ගෙන ඇති බවයි.

අත් කරත්ත ජාවාරම සහ අක්‍රමිකතා මෙම අත් කරත්ත බෙදා දීමේ ක්‍රියාවලිය පිළිබඳව සභාවේදී දැඩි කතාබහක් ඇති විය. සභික ජේ.පී. නිමල් රංජිත් මහතා (ජා.ජ.බ.) පෙන්වා දුන්නේ 2018 වසරේදී රුපියල් 248,700ක් වැය කරමින් කරත්ත 40ක් බෙදා දී ඇති නමුත්, ඉන් බොහෝමයක් නියමිත අරමුණ සඳහා භාවිත නොවන බවයි. ඇතැම් මුල් අයිතිකරුවන් මෙම කරත්ත රු. 3,000 – 4,000 අතර මුදලකට වෙනත් අයට බදු දී ඇති අතර, සභාවට ගෙවනු ලබන්නේ රු. 500ක් වැනි මුදලක් බවත් හෙළි විය. මේවා නැවත ටෙන්ඩර් කැඳවා සැබෑ ලෙසම ස්වයං රැකියා කරන අයට ලබා දීමට සභාපතිවරයා යෝජනා කළේය.

ඉඩම් නඩුව සහ කෝටි 5ක ණය බර අම්බලන්තොට නගර ශාලාව ඉදිකිරීමට යොදාගත් භූමිය සම්බන්ධයෙන් පවතින බරපතල මූල්‍ය අර්බුදයක් ගැන උප සභාපති සුරංග සංජීව මහතා අනාවරණය කළේය. අදාළ ඉඩම පවරා ගැනීමේ වටිනාකම ලෙස රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත්, එය ප්‍රමාද වන විට පොලිය එකතු වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

හුංගම කොහොඹ ගස සහ ලුණම ආදාහනාගාරය හුංගම නගරයේ පාසල් ළමුන්ට සෙවණ දුන් විශාල කොහොඹ ගසක් හදිසියේ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී ආර්.පී. චන්ද්‍ර කුමාර මහතා ප්‍රශ්න කළ අතර, යාබද වෙළෙඳසැලකට හානි වන නිසා එය ඉවත් කළ බව ආණ්ඩු පක්ෂය පැවසීය. මේ අතර ලුණම ආදාහනාගාරය ඉතා අපිරිසිදු තත්ත්වයක පවතින බවත්, එය නිසි තක්සේරුවකට ලක් කළ යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.

සංවර්ධන යෝජනා සහ ශෝකය පළ කිරීම බරවකුඹුක සතිපොළ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික සහාය පළ විය. රැස්වීම ආරම්භයේදී වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පැමිණි අතර, සභාවේ විනාඩියක නිශ්ශබ්දතාවක් ද පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *