කුඹුරේ පැල් රකිමින් සිටි ගෝමරන්කඩවල NPP ප්‍රාදේශීය සභා සභාපතිවරයා හදිසියේ අභාවප්‍රාප්ත වෙයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රංගික ප්‍රගාත් ධර්මදාස මහතා (34), සිය කුඹුරේ පැල් රකිමින් සිටියදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

ගෝමරන්කඩවල, තිරප්පනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු පසුගිය 20 වැනිදා රාත්‍රියේ කුඹුරට ගොස් ඇති අතර, පසුදින අලුයම ඔහුගේ මව විසින් ලබාගත් දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කළ සොයා බැලීමකදී ඔහු සිහිසුන්ව සිටියදී හමුවී ඇත. වහාම ඔහුව ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කළද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය සහ රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. ඔහු කලක පටන් හෘද රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරියෙකු වූ ධර්මදාස මහතා, උපාධියෙන් පසු වෘත්තීය මට්ටමින් කෘෂිකාර්මික කටයුතුවල නිරත වූ ආදර්ශවත් තරුණයෙකි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ගල්කඩවල කොට්ඨාසය ජයග්‍රහණය කර සභාපති ධුරයට පත් හෙතෙම අවිවාහකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *